ඔබට මතක ඇති මෙම ලිනක්ස් සිංහලෙන් පාඩම් මාලාව ආරම්භක ලිපියෙන් ලිනක්ස් පද්ධතියක මූලිකාංග ගැන කථා කලා. ඉන්පස්සේ අපි ගොනු නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව කථා කලා. ඊටත් පස්සේ එම ගොනු සහ ෆයිල්ස් පරිහරණය කරන ආකාරය පිළිබඳව කථා කලා.
අද අපි කථා කරන්න යන්නේ එම ෆයිල්ස් හා ගොනු වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය පිළිබඳව. ඔබ මෙතෙක් භාවිතා කර තිබෙන්නේ වින්ඩෝස් සංස්කරණයක මෙහෙයුම් පද්ධතියක් නම් ඔබට මේ ගැන කිසිම අවබෝධයක් නැතුවාට සැකයක් නෑ. මොකද මං කලිනුත් කිව්වා වාගේ වින්ඩෝස් වැනී මෙහෙයුම් පද්ධති අපේ සිතීමේ හැකියාව, බුද්ධියෙන් හිතලා වැඩක් කිරීමේ හැකියාව මොට කරනවා. ඒ නිසා අද පාඩමින් මේ පිළිබඳව මූලික සංකල්ප වල සිට පැහැදිලි කරන්න මං හිතුවා.
ගොනු නිර්මිතය පාඩමින් කථා කිරීමට අතපසු වෙච්චි තවත් වැදගත් තැනකින් අද පාඩම පටන් ගන්නම්.
Linux/Unix වල භාවිතා කරන ෆයිල් වර්ග.
ලිනක්ස් හෝ ලිනක්ස් නිර්මාණය කල Unix ආශ්‍රිත පද්ධතියක හෝ තිබෙන ඕනෑම ෆයිල් එකක් පහත සඳහන් ආකාර හතර අතුරින් කුමන හෝ වර්ගයකට අයත් වේ.
- Ordinary files - සාමාන්‍යය ෆයිල්ස්.
අකුරු අඩංගු ලියවිල්ලක්, යම් කිසි දත්තයන් හෝ කිසියම් වැඩසටහනක් හෝ මෘදුකාංගයක තොරතුරු යනාදි සියලුම දේවල සාමාන්‍යය ෆයිල් එකක අඩංගු විය හැකිය.
සාමාන්‍යය ෆයිල් එකක් තුල තවත් ෆයිල් එකක් හෝ ගොනුවක් අඩංගු කරගත නොහැක. - Directories - ගොනු (ෆෝල්ඩර/ඩිරෙක්ටර).
තවත් ගොනුවක් හෝ කිහිපයක් හෝ ෆයිල්ස් ගොනුවක අන්තර්ගතය වියහැක. - Devices - උපකරණ.
අප භාවිතා කරන උපකරණයක්/දෘඩාංගයක් ලිනක්ස් හෝ Unix වැනි පද්ධති වල දී ෆයිල් එකක් ලෙස හැසිරවීමට හැකිය. මෙසේ හැසිරවිය හැකි උපකරණ මූලිකව වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය.- block-oriented devices.
මෙම උපකරණ පද්ධතිය සමඟ දත්ත හුවමාරු කරන්නේ දත්ත කාණ්ඩ වශයෙනි.
උදාහරණ වශයෙන් දෘඩතැටිය දැක්විය හැකිය. - character-oriented devices.
මෙම උපකරණ පද්ධතිය සමඟ දත්ත හුවමාරු කරන්නේ බිටුවෙන් බිටුවෙන් ක්‍රමය මූලික කරගෙනය (byte-by-byte).
උදාහරණ වශයෙන් මොඩමය සැලකිය හැකිය.
- block-oriented devices.
- Links - සම්බන්ධක.
තවත් ෆයිල් එකකට සම්බන්ධ වියහැකි සම්බන්ධක. මේවාත් පහත පරිදි වර්ග දෙකකට වෙන් කල හැකිය.- දෘඩ සම්බන්ධක (Hard-links)
අදාල ෆයිල් එකින් වෙන්කර දැක්විය නොහැකි එහිම පවතින සම්බන්ධක. - මෘදු සම්බන්ධක (Soft-links)
අදාල ෆයිල් එකට පිටින් ඇති සම්බන්ධක.
Shortcut යනුවෙන්ද මේවා හැඳින්විය හැකිය.
- දෘඩ සම්බන්ධක (Hard-links)
මොකක්ද මේ අවසර තත්වයන් සහ හිමිකාරිත්වය.
හොඳයි අපි මෙහෙම පටන් ගමුකෝ.. ඔබට කවදහරි ඔබේ ලිනක්ස් පද්ධතියේ කිසියම් ගොනුවක් හෝ ෆයිල් එකක් පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට අවසර නොමැති බව දන්වා පණිවිඩයක් ලැබී තිබේද..? පද්ධතිය භාවිතා කරන එකම පරිශීලකයා ඔබ වුවත් සමහර ෆයිල්ස් හෝ ගොනු වෙනස් කිරීමට හෝ පරික්ෂා කිරීමට නොහැකිද..? අපි කළින් සුපර් යූසර් පිළිබඳව සාකච්ඡා කල ලිපියේ එවැනි ඔබට වෙනස් කිරීමට හෝ පරීක්ෂා කිරීමට නොහැකි ෆයිල්ස් හා ගොනු පිළිබඳව උදාහරණ සාකච්ඡා කලා මතකයිද...?
ඇත්තෙන්ම ලිනක්ස් පද්ධතියක් නිර්මාණය වී තිබෙන්නේ බහු-පරිශීලක භාවිතය සඳහා උචිත අයුරිනි. එනම් පරිශීලකයන් එක්කෙනෙකු හෝ කිහිපදෙනෙකුට එකම පද්ධතියක් භාවිතා කල හැකි පරිදිය (Multi-User). ඉතින් මෙහෙම පරිශීලකයින් කිහිපදෙනෙක් එකම පද්ධතියක් භාවිතා කරන විට එම එක් එක පරිශීලකයාගේ දත්ත වල ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සළකා පද්ධතිය නිර්මාණය කර ඇත.
පද්ධතිය භාවිතා කරන්නේ එක පරිශීලකයෙකු පමණක් වුවත් ඔබට සියළුම ෆයිල්ස් වෙනස් කිරීමට හෝ පරීක්ෂා කිරීමට නොහැකි සුපර් යූසර් හෙවත් සුපිරි පරිශීලකයාද මෙම පද්ධතියේම සිටින බැවිනි.
මෙසේ එක් එක් පරිශීලකයන්ට ෆයිල්ස් හැසිරවීමට ලැබෙන අවසරයන් ඒ ඒ පරිශීලකයාට අදාලව වෙනස් වන හෙයින් මෙසේ ෆයිල්ස් වල අවසර තත්වය හා හිමිකාරීත්වය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කල යුතුව ඇත.
හිමිකම ගැන දැනගනිමු.
ඔබගේ ලිනක්ස් පද්ධතියේ තිබෙන සෑම ෆයිල් එකක්ම යම් කිසි නියත පරිශිලකයෙකුට හා පරිශීලක කණ්ඩායමකට අයිති වේ.එම නිසා ෆයිල්ස් වල අවසර තත්වය පරිශිලකයන් (users), කණ්ඩායම් (groups) හා වෙනත් (others) ලෙස කොට්ඨාශ තුනකට වෙන වෙනම බලපාන පරිදි අර්ථ දක්වා ඇත.
- user
ෆයිල් එක නිර්මාණය කල පරිශිකයාගේ පරිශීලක නම.
සාමාන්‍යයෙන් යම් ෆයිල් එක නිර්මාණය කල පරිශීලකයාට අයිති වේ. - group
ෆයිල් එක අයිති පරිශීලක කණ්ඩායම.
කිසියම් ව්‍යාපෘතියක් සඳහා පරිශීලකයන් කිහිප දෙනෙක් එකතු වී වැඩ කරන අවස්ථාවක් සිතන්න. එවිට එම සියළුදෙනා එකම පරිශීලක කණ්ඩායමක සිටිනවා නම් ඒ සියළුදෙනාටම එකම අවසර තත්වයන් හිමි වේ. - other
ෆයිල් එක හෝ ගොනුව නිර්මාණය කල පරිශීලකයාට හෝ එම පරිශීලක කණ්ඩායම අයත් නොවන වෙනත් පාර්ශවයන්.
උදාහරණයක් ලෙස යම් කිසි වෙබ් අඩවියක් සිතන්න, එහි තිබෙන අන්තරගතය අපි විසින් නිර්මාණය නොකලත් අපිට එය පරික්ෂා කරන්න පුලුවන්නේ. එවිට අප එම ෆයිල්ස් භාවිතා කරන්නේ වෙනත් පාර්ශවය විදිහටයි.
අවසර තත්වයන් ගැන දැනගනිමු.
මොනවද මේ ඉහත කියවුන අවසර තත්වයන්. මෙම අවසර තත්වයන්ද කොටස් තුනකින් සමන්විතයි.
- Read Permission
එනම් ෆයිල්ස් කියවීමට ඇති අවසරයි. මෙම අවසර ඇති ඕනෑම ෆයිල් එකක් එම ෆයිල් එකට ගැලපෙන මෘදුකාංගයක් භාවිතා කර කියවීමට පුලුවනි. ඒ කියන්නේ text ෆයිල් එකක් නම් cat විධානය මඟින් හෝ text-editor මෘදුකාංගයක් භාවිතා කිරීමෙන්, JPG ෆයිල් එකක් නම් කුමන හෝ Image-viewer මෘදුකාංගයක් භාවිතා කිරීමෙන්..... ආදි වශයෙන්. - Write Permission
එනම් ෆයිල්ස් වෙනස් කිරීමට ඇති අවසරයයි. මෙම අවසරය තිබෙන ෆයිල් එකකට අලුතින් යමක් එක් කිරීමට හෝ තිබෙන යම් දෙයක් වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට අවසර ලැබේ.
මෙම අවසර ඇත්තේ යම් කිසි ගොනුවකට නම් එම ගොනුවේ ඇති ෆයිල්ස් ඉවත් කිරීමට, වෙනස් කිරීමට හා අළුතින් එක් කිරීමට අවසර ලැබෙනු ඇති. - Execute Permission
මෙහි අර්ථය ක්‍රියාත්මක කිරීමේ අවසරයයි. ඇත්තෙන්ම මෙම අවසරය අපිට shell script වැනි දේවල් ක්‍රියාත්මක කිරීමේදී ගොඩාක් වැදගත් වෙනවා. මෙම අවසරය ලබා දුන් විට එම ෆයිල් එක හෝ එම අවසරය ලබාදුන් ගොනුවේ ඇති ෆයිල්ස් ක්‍රියාත්මක කිරීමට පුලුවනි. තවද මෙම අවසරය යම් ඩිරෙක්ටරයකට ලබා දුන් විට එම ඩිරෙක්ටරයේ දත්ත පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්‍යය විධාන (cd, ls, cp, mv, rm...වැනි විධාන) ක්‍රියාත්මක කිරීමේ අවසරයද හිමි වෙනවා.
දැන් ඔබට ලිනක්ස් පද්ධතියක භාවිතා කරන ෆයිල් වර්ග හා ඒවායේ හිමිකාරීත්වයන් හා අවසර තත්වයන් පිළිබඳව මූලික වැටහීමක් තිබෙනවා. ඔබේ පද්ධතියේ පවතින ෆයිල්ස් වල වර්ගය, හිමිකාරීත්වය සහ අවසර තත්වය පරීක්ෂා කරන ආකාරය හා ඒවා වෙනස් කරන ආකාරය මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.
4 අදහස්...:
ආ.. අදමයි ආවේ.නියමයි නියමයි.දිගටම ලියමු.ජය !
ස්තූතියි...
දිගටම ලියන්න සහෝ... ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න!
@ලහිරු
අදහස් දැක්වීමට බොහෝමත් ස්තුතියි සහෝ.....
Post a Comment