ලිනක්ස් භාවිතයේදී සුපර් යූසර් (Super user) එහෙමත් නැත්තම් රූට් (Root) කියන වචන දෙක අහලා දැකලා ඔබටත් පුරුදු ඇති. ඇත්තටම කවුද මේ සුපර් යූසර් කියන්නේ? මේකෙන් මොකද්ද වෙන්නේ? අද අපි කථා කරන්නේ සුපර් යූසර් ගැනයි.

අර්ථ දැක්වීම අනුව නම් සුපර් යූසර් එහෙමත් නැත්තම් රූට් කියන්නේ පද්ධතියේ සියලු වරප්‍රසාද ලත් පරිශීලකයායි. මෙම සුපර් යූසර්ට පද්ධතියේ සියළුම විධාන ක්‍රියා කරවීමේ අවසරයත්, සියළුම ගොනු සහ ෆයිල්ස් හැසිරවීමේ අවසරයත් හිමි වෙනවා.
 
කෙටියෙන්ම කිව්වොත් සුපර් යූසර්ට පද්ධතියේ ඕනෑම දෙයක් කරන්න පුලුවන්. කොටින්ම ලිනක්ස් කර්නල් එක වගේ ඕනෑම පවතින source code එකක් වුනත් වෙනස් කිරීමේ අවසරය ලැබෙනවා.
අපි සාමාන්‍යයෙන් පද්ධතියට ඇතුලු වන්නේ සාමන්‍යය පරිශීලකයෙක් විදිහට, ඒ වුනත් එහෙම පද්ධතියට ඇතුලු වුනාම කරන්න පුලුවන් වැඩ සීමා සහිත වෙනවා. උදාහරණයක් විදිහට අපිට සාමන්‍යය පරිශීලකයෙක් විදිහට පද්ධතියට නව මෘදුකාංග ස්ථාපනය කරන්න අවසර නෑ. පද්ධතිය යාවත්කාලීන කරන්නවත් අවසර ලැබෙන්නේ නෑ. මේ වගේ විශේෂ කාර්‍යයන් සිදු කිරීමට නම් අපිට සුපර් යූසර් එහෙමත් නැත්තම් රූට් වීම අත්‍යාවශය වෙනවා.

 

සුපර් යූසර් එහෙමත් නැත්තම් රූට් වෙන්නේ කොහොමද...?

 සුපර් යූසර් එහෙමත් නැත්තම් රූට් වෙන එක ක්‍රමයක් තමා ටර්මිනල් එකේ sudo -i කියලා විධාන කරන එක. අනිත් ක්‍රමය තමා පද්ධතියට log-in වෙද්දි user name එක විදිහට root කියලා සඳහන් කරලා රූට් මුරපදය දීලා කෙලින්ම රූට් විදිහට පද්ධතියට log-in වෙන එක.

 මුලින්ම අපි ටර්මිනලයෙන් රූට් වෙන හැටි සාකච්ඡා කරමු.
 මෙම රූපයෙන් පෙන්වා තිබෙන්නේ ටර්මිනලයක සාමාන්‍යය පරිශීලයකුව සිට සුපිරි පරිශීලකයා එහෙමත් නැත්තම් රූට් වෙන ආකාරය. රූපය හොඳින් බලන විට පැහැදිලිව පෙනේවී මෙසේ සුපර් යූසර්ට මාරු වන විට ටර්මිනලයේ $ ලකුණ # ලෙසට මාරු වන බව.
subo@ubuntu:$ සිට root@ubuntu:~# බවට පත්වේ.
මෙම සංකේත පිළිබඳව මනා වැටහීමක් තිබීම ඉදිරියට ප්‍රයෝජනවත් වේවී.
දැන් අපි බලමු සාමන්‍යය පරිශීලකයෙකුට කරන්න බැරි සුපිරි පරිශීලකයාට කරන්න පුලුවන් වැඩ මොනවද කියලා. ඇත්තටම මේ සුපිරි පරිශීලකයාට පද්ධතියේ ඕනෑම වෙනසක් කිරීමට ඕනෑම දෙයක් කිරීමට අවසර තියෙනවා. එම නිසා සුපර් යූසර් විදිහට වැඩ කරන කොට ප්‍රවේශමෙන්, අවධානයෙන් එම විධාන ලබා දීමට වගබලා ගන්න.

සුපර් යූසර් මුරපදය වෙනස් කරගන්නා ආකාරය.

:~$ sudo passwd
ඉහත විධානය ලබා දීමෙන් පසු ටර්මිනලය අපගේ පවතින මුරපදය ඉල්ලා සිටින අතර එය නිවැරදිව ලබා දුන් විට නව මුරපදය ලබාදෙන මෙන් ඉල්ලා සිටී.
වැදගත් : සුපිරි පරිශීලකායට තිබෙන සුපිරි වරප්‍රසාද මඟින් සම්පූර්ණ පද්ධතියම පාලනය කල හැකි බැවින් මෙම මුරපදය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. මේ සඳහා ශක්තිමත් මුරපදයක් භාවිතා කිරීම හා වරින්වර එය වෙනස් කිරීම ඔබගේ පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.

    • පද්ධතියේ configuration ෆයිල්ස් පරීක්ෂා කිරීම හෝ වෙනස් කිරීම.
      සාමන්‍යය පරිශීලකයෙක්ව අපිට පද්ධතියේ configuration ෆයිල්ස් පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට නොහැක. ඒ සඳහා සුපර් යූසර් වීම අනිවාර්‍ය්ය වේ.

      වැදගත් : මෙම පද්ධති configuration ෆයිල්ස් වෙනස් කිරීම පද්ධතිය සහමුලින්ම අවුල් සහගත කිරීමට හෝ ඇතැම් විට මුලු පද්ධතියම නැවත භාවිතා කරගැනීමට නොහැකි පරිදි විනාශ කිරීමට තරම් හේතු වන බැවින් පද්ධතියේ configuration ෆයිල්ස් වෙනස් කිරීමට පෙර ඒ ගැන සැලකිලිමත් වන්න.පද්ධති configuration ෆයිල් එකක් වෙනස් කිරීමට ප්‍රථම එහි පිටපතක් තබා ගැනීම මේ නුවණට හුරුය.

      පද්ධතියේ රූට් ගොනුවේ, එහෙමත් නැත්තම් ගොනු නිර්මිතය පිළිබඳව සාකච්ඡා කල ලිපියේ තිබූ පරිදි ලිනක්ස් ගොනු ආකෘතියක මුල් ගොනුවේ තිබෙන ෆයිල්ස් ලයිස්තුව බලා ගැනීම උදාහරණයකට ගමු.
      මුලින්ම සාමාන්‍යය පරිදි ටර්මිනලයක් ගෙන මෙය කිරීමට උත්සහ කරන්න.

      ඉහත රූපයේ පරිදි ඔබට පෙනේවී මෙ සඳහා ඔබට අවසර නොමැති බවට දන්වා පණිවිඩයක් එන බවට. දැන් රූට් වී මෙම ක්‍රියාව සිදු කරන්න උත්සහ කරන්න.

      ඔබට පෙනනවා ඇති රූට් වීමෙන් පසු එම කාර්‍යය කරගැනීමට කිසිදු බාධාවක් නොමැති බව.
      දැන් අපි පද්ධතියේ configuration ෆයිල් එකක් වෙනස් කරගන්නා ආකාරය උදාහරණයකට බලමු.
      මගේ පද්ධතියේ තිබෙනවා wvdial කියලා configuration ෆයිල් එකක්. මේක භාවිතා කරන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ වීම සඳහායි. මුලිම අපි මේ ෆයිල් එකේ අන්තර්ගතය පරික්ෂා කර බලමු. මේ සඳහා මම භාවිතා කරන්නේ පහත විධානයි. මෙම විධානය පිළිබඳව ඔබ දැනුවත් වී ඇතියි සිතමි.

      :~$ cat /etc/wvdial.conf


      එවිට ලැබෙන ප්‍රථිඵලය තමා මේ ඉහත රූපයේ දැක්වෙන්නේ. දැන් මට මෙය වෙනස් කිරීමට අවශ්‍යය නම් මා කල යුත්තේ රූට් වී එම ෆයිල් එක කැමති text editor එකකින් විවෘත කරගැනීමයි. මේ සඳහා මා භාවිතා කරන්නේ මාගේ ප්‍රියතම text editorය වන VIM ය. එවිට මා විධාන කලයුත්තේ පහත පරිදිය.

      :~# vi /etc/wvdial.conf


      දැන් මට අවශ්‍යය පරිදි වෙනස් කම සිදු කරගැනීමට පුලුවනි. ඇත්තෙන්ම මෙසේ සුලු සුලු කාර්‍ය්යන් සිදු කරගැනීමට රූට් ලෙස log-in වීම අත්‍යාවශ්‍යම නෑ. මේ සඳහා පහත පරිදි රූට් ලෙස විධාන කිරීමටත් පුලුවනි.

      :~$ sudo vi /etc/wvdial.conf


      ඇත්තටම අපට යම් කිසි විධානයක් රූට් එහෙමත් නැත්තම් සුපර් යූසර් විදිහට කරගන්න ඕනේ නම් අපිට කරන්න තියෙන්නේ අපි කරන්න යන විධානයට පෙර sudo යනුවෙන් සඳහන් කිරීමයි. එවිට ටර්මීනලය අපේ මුරපදය ඉල්ලා සිටින අතර එය ලබාදුන් විට අපි භාවිතා කල විධානය රූට් ලෙස භාවිතා කල හැකිය.
      උදාහරණ ලෙස සාමාන්‍යය පරිශීලකයෙකුව සිට කොපි කිරීමට හෝ ඉවත් කිරීමට හෝ move කිරීමට නොහැකි ෆයිල්ස් එසේ වෙනස් කරන්නේ පිළිවෙලින් පහත පරිදි විධාන කිරීමෙන්ය.
      :~$ sudo cp file_name location_to_copy
      :~$ sudo rm file_name
      :~$ sudo mv file_name locatin_to_move


      ඉහත කාර්‍ය්යන් සිදු කරගැනීමටම ඔබට ඔබගේ GUI සහිත file browser එකක් රූට් ලෙස විවෘත කරගැනීමට අවශ්‍යය නම් පහත විධානය භාවිතා කරන්න.

      :~$ sudo nautilus

      මෙහි nautilus යනුවෙන් සඳහන් වී තිබෙන්නේ file browser එකෙහි නමය. ඔබට අවශ්‍යය file browser එක පරිදි මෙය වෙනස් කරගන්න.

      මේ විදිහට අපිට සාමාන්‍යය පරිශීලකයෙක්ව සිදු කරගත නොහැකි කාර්‍යයන් සියල්ලක්ම සිදු කරගන්න පුලුවනි.
  • සම්පූරණ පද්ධතියම වසා දමන්න හෝ නැවත ආරම්භ කරන්න.
    ඔබ ටර්මිනලය මඟින් පරිගණකය වසා දැමීම හෝ නැවත පණගන්වන්න පුලුවන් බව දන්නවාද..? ඇත්තටම මෙම කාර්‍යයන් පහත විධාන තුලින් ටර්මිනල් එක මඟින් සිදු කරගැනීම ඉතාම සරළ පහසු දෙයක්. මෙම කාර්‍යයන් සිදු කරගැනීමට ඔබට සුපිරි පරිශීලකයා වීමට සිදුවේ.

    • පද්ධතිය වසා දැමීම. power off the system.

      :~# poweroff හෝ :~$ sudo poweroff
    • පද්ධතිය නැවත පණ ගැන්වීම. re-boot the system.

      :~# reboot හෝ :~$ sudo reboot
     මීට අමතරව shutdown හා halt යන විධානයන්ද මේ සඳහා භාවිතා කල හැකිය.
  • පද්ධති ක්‍රියා පාලනය කිරීම.
    මෙය ඉතා පුළුල් ලෙස සාකච්ඡා කල යුතු කාරණයක්. නමුත් ආරම්භයක් ලෙස ඉතා සරළ 
    ක්‍රියා කිහිපයක් ගැන පමණක් මෙතනදී සාකච්ඡා කරමු.
    • පද්ධතිය යාවත්කාලීම කිරීම.
    • නව මෘදුකාංග හෝ වැඩසටහන් ස්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම.
    • සිදුකෙරෙමින් පවතින ක්‍රියාවලි නැවත් වීම හා යලි ආරම්භ කිරීම.

     සුපර් යූසර්ගෙන් ඉවත් වීම.

     මේ සඳහා කළ යුත්තේ exit හෝ logout යන විධාන භාවිතා කිරීමය. එවිට නැවත # ලකුණ $ බවට වෙනස් වීම ඔබට දැකගන්න පුලුවන්.
     

    ඉතා වැදගත් : කිසිම විටක නිකරුනේ රූට් වීමෙන් වළකින්න. ඔබ යම් කිසි කාර්‍යයක් සඳහා රූට් වුවහොත් එම කාර්‍ය්ය අවසන් වූ විගස සුපර් යූසර්ගෙන් ඉවත් වීමට වගබලා ගන්න. මෙය ඔබගේ පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ. මොකද ඔබ රූට් වී තිබෙන මොහොතක කිසියම් වැඩක් සඳහා ඔබට පරිගණකය ලඟින් ඉවත් වීමට සිදු වුවහොත් එවැනි මොහොතක ඕනෑ පුද්ගලයෙකුට ඔබගේ පරිගණකයේ දත්ත ලබාගන්න, වෙනස් කරන්න වගේම විනාශ කරන්න වගේම ඔබගේ පද්ධතියේ configuration ෆයිල්ස් වෙනස් කිරීම මඟින් පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මන්‍යය කිරීමටද පුලුවනි. එම නිසා සුපර් යූසර් විදිහට වැඩ කිරීමේදී අවධානයෙන් වගකීමෙන් වැඩ කරන්න.

     අද සාකච්ඡා කලේ ලිනක්ස් පද්ධතියක සුපර් යූසර් එහෙමත් නැත්තම් රූට් ගැන සහ සාමන්‍යය පරිශීලකයෙකුට කරන්න අවසර නොමැති සුපිරි පරිශීලකයාට පමණක් කරන්න පුලුවන් පද්ධති ක්‍රියා ගැන ඉතාම කෙටියෙන්ය. මේ මාතෘකාවට අදාලව ඉතා පුළුල් ලෙස සාකච්ඡා කිරීම්ට කරුණු කාරනා තිබෙන නමුත් ආධුනිකයෙකුට වැටහෙන පරිදි මෙම සීමාවෙන් මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
    මෙම ලිපියේ කොතැන හෝ තැනක යම් අපැහැදිලි බවක් ඇත්නම් ඒ පිළිබඳව විමසන්න මැලි නොවන්න.



1 අදහස්...:

Unknown March 19, 2019 at 12:50 PM  

machan man ubuntu dala meka test kara hebei ehema file ekak root gen open wenne nah, wvdial.conf kiyala file ekak naane

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න