ලිනක්ස් විධාන. - ලිනක්ස් පාඩම් මාලාව #3



බොහෝ දෙනාට නම් මේ Command prompt එකේ වැඩ කරලා පුරුදු නැතුව ඇති. ඒත් ලිනක්ස් වලින් වැඩ කරන කෙනෙක් නම් එදිනෙදා වැඩ කරගන්න පවා මේ command prompt එක එහෙමත් නැත්තම් ටර්මිනල් (Terminal) එක හොඳට භාවිතා කරලා පුරුදු ඇති. අද අපි ඉගෙන ගන්න යන්නේ Commands හෙවත් විධාන. මූලික විධාන කිහිපයක් ගැන අපි කථා කරමු. කිව්වට විශ්වාස කරන්න මේ ටික හොඳට පුරුදු වුනාම හැම වැඩක්ම ටර්මිනල් එකෙන්ම කරන්න හිතෙයි. ලිනක්ස් විධාන වලින් වැඩ කිරීම ඒ තරම්ම විනෝදජනක ලේසි වැඩක්.


අපි මුලින්ම බලමු ලිනක්ස් විධාන වල මූලික format එක.

$ command -options targets

මේක තමා ලිනක්ස් වල මූලික විධන ස්වරූපය. තේරෙන්නේ නෑ නේද..? කලබල වෙන්න එපා. මෙතන මේ command කියලා කියන්නේ අපි ලබාදෙන විධානය, option කියලා කියන්නේ ඒ විධානයටම එකතු වෙන්න ඕනේ අමතර විකල්ප විධාන, target කියලා කියන්නේ මේ විධානය ක්‍රියාත්මක වෙන්න ඕනේ මොකටද.. එහෙමත් නැත්තම් මොන ෆයිල් එකටද කියලා කියන එක. මේක තේරෙන්නේ නැති වෙයි අපි උදාහරණ වලින්ම මේක තේරුම් ගන්න බලමු.

අද බ්ලොග් එක කියවන එකට අමතරව කියවන ගමන්ම කරන්න වැඩත් තියෙනවා. එහෙනම් දැන් ඔබේ පද්ධතියේ ටර්මිනල් එක විවෘත කරගන්න. ඔබට මෙවැනි ටර්මිනල් එකක් ලැබෙනවා ඇති.

subo@ubuntu:~$
 මෙතන මේ subo කියලා කියන්නේ දැන් පද්ධතිය භාවිතා කරන පරිශීලකයාගේ නම. එකට පස්සේ තියෙන්නේ පද්ධතියේ නම. මං මේ වෙලාවේ භාවිතා කරන්නේ උබුන්ටු නිසා මේක ubuntu කියලා තියෙන්නේ. :~$ ලකුණෙන් පෙන්නන්නේ මං දැන් ඉන්නේ home ෆෝල්ඩරයේ කියලා. ඒ කියන්නේ මං දැන් ඉන්නේ කියන /home/subo/ ගොනුවේ. ඔයාලා රූට් එකේ ඉන්නවා නම් මේක :/$ විදිහට වෙනස් වෙනවා. දැන් ටර්මිනල් එක ගැන මූලික වැටහීමක් ඇතිනේ. අපි දැන් බලමු විධාන ගැන.
 අද කථා කරන්නේ මූලිකම විධාන කිහිපයක් විතරයි. තව තව ප්‍රයෝජනවත් විධාන ගැන අපි ටිකෙන් ටික කථා කරමු.
 වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනේ සියලුම ලිනක්ස් විධාන case sensitve ඒ කියන්නේ කැපිටල් සිම්පල් බේදය තියෙනවා. කැපිටල් වලින් තියෙන විධානයක් හා සිම්පල් වලින් තියෙන විධානයක් යනු සහමුලින්ම එකිනෙකට වෙනස් විධාන වේ. අත්හදා බැලීමට ඔබට මම විසින් භාවිතා කර ඇති විධාන copy & paste කිරීම සිදු කල හැකිය.

  • ls
    ls = list
    ls විධානයෙන් අපිට ලයිස්තුවක් list බලන්න පුලුවන්. ඔබට ඔබ දැන් ඉන්න ෆෝල්ඩරයේ තිබෙන්නේ මොනවාදැයි බැලීමට අවශ්‍යය නම් විධානය භාවිතා කරන්න. මෙය වින්ඩොස් කමාන්ඩ් ලයින් එකේ dir විධානයට සමාන වේ. dir විධානයද ලිනස්ක් වල භාවිතා කල හැකිය.



    • ls
      මෙමඟින් අපි දැන් වැඩ කරන ෆෝල්ඩරයේ ඇති ෆයිල් හා ෆෝල්ඩර ලයිස්තුවක් ලැබේ.
      ls
      මේ නිල් පාටින් පෙන්නන්නේ ෆෝල්ඩර වන අතර සුදු පැහැයෙන් සාමන්‍යය ෆයිල්ද කොළ පාටින් ක්‍රියාත්මක කල හැකි වැඩසටහන්ද පෙන්වයි. මෙම වර්ණ වෙනස් කර ගැනීමද සිදු කල හැකිය.
    • ls -a
      ඍණ (-) ලකුණකට පස්සේ අපිට අවශ්‍යය විකල්ප විධාන දෙන්න පුලුවන් කියලා කලින් සඳහන් කරානේ. මේ කරලා තියෙන්නේ ඒක තමා. මෙම විකල්පයෙන් දැන් සිටින ෆෝල්ඩරයේ සියලුම ෆයිල් සහ ෆෝල්ඩර ලයිස්තුවක් ලැබේ. සැඟවූ ෆයිල්ස් හා ෆෝල්ඩරද බැලිය හැකිය.
      ls -a
    • ls -l
      මෙතනදී භාවිතා කරන්නේ l කියන විකල්ප විධානයයි. මෙමඟින් අප දැන් වැඩ කරන ෆෝල්ඩරයේ ෆයිල්ස් හා ෆෝල්ඩර වල අවසර සැකසීම (Permission) පරික්ෂා කල හැකිය. මෙම ලිනක්ස් අවසර සැකසීම පිළිබඳ වෙනමම ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
      ls -l
  • pwd
    pwd = print working directory
    මෙම විධානය භාවිතා කිරීමෙන් අපි මේ මොහොතේ වැඩ කරනා ෆෝල්ඩරය සොයාගත හැකිය. සමහර අවස්ථා වල ටර්මිනල් එක භාවිත කරමින් සංකීර්ණ වැඩ කරගැනීමේදි මෙම විධානය ප්‍රයෝජනවත් වේ.
    pwd
  • cd
    cd = change directory
    එනම් ෆෝල්ඩර අතර මාරු වීමට මෙම විධානය යොදා ගනී. උදාහරණ ලෙස ඔබට ඔබේ home ෆෝල්ඩරයේ ඇති Music ෆෝල්ඩරයට පිවිසීමට අවශ්‍යය නම් ඔබ cd Music ලෙස විධාන කල යුතුවේ. මෙය ඉතා ප්‍රබල එමෙන්ම නිරන්තරයෙන් භාවිතා කිරීමට සිදු වන විධනයකි. එම නිසා මෙම විධානය භාවිතා කරන ආකරය පිළිබඳ උදාහරණ කිහිපයක් පහත පරිදි දක්වන්නම්.
    • යම් ගොනුවක් තුල පවතින උප ගොනු වලට මාරු වීම.
      උදාහරණයක් ලෙස මෙසේ ඔබේ home ගොනුවේ ඇති Documents ගොනුව තුල ඇති foo නම් ගොනුවක් ගැන සිතන්න. ඔබට මෙම ගොනුවට පිවිසීමට ක්‍රම 2ක් භාවිතා කල හැකිය.
      1. :~$ cd Documents/
        :~/Documents$
        cd foo
        මෙසේ දෙවතාවක් cd විධානය භාවිතා කිරීමෙන්ද, හෝ
      2. :~$ cd Documents/foo
        මෙසේ එකවරම cd විධානය භාවිතා කිරීමෙන් ඔබට මෙම කාර්යය කරගැනීමටද පුලුවනි.
    • උප ගොනුවක සිට නැවත මුල් ගොනුවට යෑම.
      දැන් ඔබ සිටින්නේ Documents/foo ගොනුවේ නම් ඔබේ ටර්මිනලය දිස්වන්නේ මේ ආකාරයටය.

      :~/Documents/foo$

      ඔබට නැවත Documents ගොනුවට යාමට අවශ්‍යය නම් ඔබ පහත පරිදි විධාන කල යුතුවේ.

      :~/Documents/foo$ cd ../

      ගොනුවේ සිට නැවත කෙලින්ම home ගොනුවට මාරු වීමට අවශ්‍යය නම් එකවර මෙලෙස විධාන කිරීම වඩා ලේසී.

      :~/Documents/foo$ cd ../../

      දැන් ඔබට වැටහෙනවා ඇති ../ මඟින් එක ගොනුවක් ආපස්සටද, ../../ මඟින් ගොනු 2ක් ආපස්සටද යනාදී වශයෙන් පෙර ගොනු වලට නැවත මාරු විය හැකි බවට. ../../../../ ලෙස ඕනෑ තරමක් ආපස්සට මාරු විය හැකිය.
    • home ගොනුවට මාරු වීම.ඔබ කුමන ගොනුවක වැඩ කරමින් සිටියත්, ඔබට home ගොනුවට යෑමට අවශ්‍යය වූ විට cd කියලා විධාන කිරීම ප්‍රමාණවත් වේ. තවද cd ~/ යනුවෙන් විධාන කළ විටද home ගොනුවට මාරු වීම සිදුවේ.
    • root ගොනුවට මාරු වීම.ඔබට රූට් ගොනුවට මරු වීමට අවශ්‍යය නම් ඔබ විධාන කල යුත්තේ cd / ලෙසය. කුමන ගොනුවක වැඩ කරමින් සිටියත් මෙම විධානය ලබා දීමෙන් එකවරම රූට් ගොනුවට මාරු වීමට හැකිය.
    මෙසේ ගොනු අතර මාරු වීම පැටලිලි සහගත නම් නැවත ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මිතය පාඩම බලන්න.
  • cp
    cp = copy
    මෙම විධානය භාවිතා කරන්නේ ෆයිල් පිටපත් කිරීම සඳහායි. මෙම විධානයත් නිරන්තරයෙන් භාවිතා කරන විධානයක් නිසා මෙය භාවිතා කරන ආකාරය ගැන උදාහරණ කිහිපයක් දෙන්නම්.
    • ෆයිල් එකක් වෙනත් නමකින් පිටපත් කරගැනීම.අපි හිතමු අපේ home ගොනුවේ කියලා foo ෆයිල් එකක් තියෙනවා අපිට ඒකම bar කියලා කොපි කරගන්න ඕනේ කියලා.

      :~$ cp foo bar

      දැන් ls විධානය ගහලා බලන්න කියලා තවත් ෆයිල් එකක් හැදිලා ඇති.
      මෙම cp විධානය භාවිතා කරන සාමන්‍යය ආකාරය තමා
      cp file_name new__name එනම් cp විධානයට පස්සේ අපිට කොපි කරගන්න ඕනේ ෆයිල් එකේ නමයි ඊට පස්සේ අපි අලුතින් කොපි කරගත්ත ෆයිල් එකට දෙන්න ඕනේ නමයි දෙන එක.
    • වෙනත් ගොනුවක ඇති ෆයිල් එකක් පිටපත් කිරීම.
      උදහරණයකට හිතන්න බලන්න මගේ /home/subo/Documents/ ෆෝල්ඩරයේ තියෙන foo කියන ෆයිල් එක /home/subo/Music ෆෝල්ඩරයට කොපි කරන්න ඕනේ කියලා. මේක කරන්න පුලුවන් ආකාර 3ක් තියෙනවා.

      1. Documents ෆෝල්ඩරයේ සිට කොපි කරන ආකාරය.දැන් අප සිටින්නේ /home/Documents/ ෆෝල්ඩරයේය. එම නිසා ටර්මිනලය :~/Documents$ ලෙස වෙනස් වී තිබේ.
        දැන් පහත විධානය භාවිතා කිරීමෙන් අපිට අපේ වැඩේ කරගන්න පුලුවනි.
        :~/Documents$ cp foo /home/subo/Music/

        තවද පහත සඳහන් විධානය භාවිතා කිරීමෙන්ද මෙම කාර්යයම සිදු කරගැනීමට පුලුවනි.

        :~/Documents$ cp foo ../Music/

        මෙම විධානය ඔබට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.
      2. Music ෆෝල්ඩරයේ සිට කොපි කරන ආකාරය.
        දැන් අප සිටින්නේ /home/Music/ ෆෝල්ඩරයේය. එම නිසා ටර්මිනලය :~/Music$ ලෙස වෙනස් වී තිබේ.
        එවිට භාවිතා කල යුත්තේ මෙවැනි විධානන්ය.
        :~/Music$ cp /home/Documents/foo .

        හෝ

        :~/Music$ cp ../Documents/foo .

        මෙම . තිත මඟින් කියවන්නේ මෙහිම කොපි කරන්න කියලා.
      3. home ෆෝල්ඩරයේ සිට කොපි කරන ආකාරය.දැන් අප සිටින්නේ /home/ ෆෝල්ඩරයේය. එම නිසා ටර්මිනලය :~$ ලෙස පවතී.

        :~$ cp /Documetns/foo /Music/


        ෆෝල්ඩරයේ සිටම මෙම කොපි කිරීම සිදු කරන්නේ එලෙසය.

      ඉහත 3 වැනි ආකරයට සාකච්ඡා කල විදිහට home පමණක් නොව වෙනත් ඕනෑන ෆෝල්ඩරයක සිට වෙනත් ඕනෑම ෆෝල්ඩර් දෙකක් අතර ෆයිල්ස් කොපි කරගත හැකිය. මෙම සියලුම ආකාරයට කොපි කරන විට අපි කොපි කරන ෆයිල් එක කොපි වන්නේ එහි නියම ෆයිල් එකේ නමින්මය. එනම් foo යන නමින්මය.
    ඔබට ෆයිල් එකකට වඩා එකවර කොපි කරගැනීමට අවශ්‍යය නම් එම සියලු ෆයිල්ස් හිස් තැනක් තබා ඉහත විධානයන්ටම එකතු කල හැකිය.
    උදාහරණ ලෙස ඔබට foo, bar සහ test යන ෆයිල්ස් කොපි කරගැනීමට අවශ්‍යය නම්

    :~/Music$ cp /home/Documents/foo bar test .

    යනුවෙන විධානය වෙනස් කර භාවිතා කල හැකිය.
  • mvmv = move
    මෙම විධානය භාවිතා කරන්නේ ෆයිල් move කිරීම සඳහායි.
    ඉහත cp විධානය භාවිතා කල ආකාරයෙන්ම මෙම mv විධානයත් භාවිතා කල හැකිය. උදාහරණ සඳහා ඉහත cp විධානයට අදාලව සාකච්ඡා කල උදාහරණ ව්ල cp වෙනුවට mv විධානය භාවිතා කරන්න.
  • rm
    rm = remove
    එනම් මෙම විධානය භාවිතා කරන්නේ ෆයිල්ස් සම්පූර්ණයෙනම ඉවත් කිරීම (delete) සඳහායි. ඉහත cp විධානයට අදාලව සාකච්ඡා කල විධාන වල cp වෙනුවට rm විධානය යෙදීමෙන් ඔබට මෙම විධානය අත්හදා බැලිය හැක.
  • mkdir
    mkdir = make directory
    මෙම විධානය භාවිතා කරන්නේ අලුතින් ෆෝල්ඩරයක් සාදා ගැනීම සඳහායි. ඔබට යනුවෙන් අලුත් ගොනුවක් නිර්මාණය කරගැනීමට අවශ්‍යය නම්

    $ mkdir fooයනුවෙන් විධාන කරන්න. මෙම විධානය භාවිතා කිරීමෙන් ඔබට එකවර ෆෝල්ඩර ගණනාවක් වුවත් නිර්මාණය කර ගැනීමට හැකිය.

    $ mkdir foo bar test
  • rmdir
    rmdir = remove directory
    මෙම විධානය මඟින් ෆෝල්ඩරයක් හෝ ෆෝල්ඩර කිහිපයක් එකවර ඉවත් කිරීම සිදු කල හැකිය.

    $ rmdir foo

    $ rmdir foo bar test

    වැදගත්:මෙම විධානය මඟින් ඔබට ඉවත් කිරීමට අවසර ලැබෙන්නේ දත්ත කිසිවක් අඩංගු නැති හිස් ෆෝල්ඩර පමණි. ඔබට යම් කිසි දත්ත ප්‍රමාණයක් තිබෙන ෆෝල්ඩරයක් ඉවත් කිරීමට අවශ්‍යය නම් පහත පරිදි විධානයට විකල්ප විධාන ලබා දෙන්න.

    $ rmdir -r foo


    හෝ

    $ rmdir -rf foo
 මෙම මූලික විධාන ආශ්‍රයෙන් ඔබට පද්ධතියේ ඕනෑම ගොනු කළමණාකරන වැඩ කටයුත්තක් සිදු කල හැකිය. කියවීම පමණක් ඉගෙනීමට උපකාරී නොවේ. ඉගෙනගත්ත දේවල් භාවිතා කිරීම තුලින් ඔබට වඩාත් ඉක්මණින් ඉගෙනගැනීමට හැකිවේ. එම නිසා මේ දේවල් ඔබම අත්හදා බලන්න. උදාහරණ වල නොතිබුනු තවත් අලුත් අලුත් දේවල් කරන්න උත්සහ කරන්න. සමහර විට වරදීවී ඒත් වැරදීමකින් ඉගෙනගන්න දෙයක් ආයේ කවදාවත් අමතක වෙන්නේ නෑ. පොඩි හරි නොතේරන තැනක් ඇත්නම් සඳහන් කරන්න. පුලුවන් විදිහට තේරුම් කරලා දෙන්න උත්සහ කරන්නම්.

අද ලිපිය ටිකක් දිග වැඩී වගේ. නමුත් මට ඕනෑ වුනේ ලිනක්ස් විධාන ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වුවත් තේරුම් ගන්න පුලුවන් විදිහට ලිපිය ඉදිරිපත් කරන්න. ඒකයි උදාහරණත් එක්ක ලිපිය මෙච්චර දිගු වුනේ. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිමි. විධාන ගැන තවත් වැඩි විස්තර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

7 අදහස්...:

Isuru Madhushankha September 19, 2012 at 3:37 PM  

very useful info for the new linux users ...
keep it up bro..

Dulanja Subodhana September 19, 2012 at 9:03 PM  

Thank you very much. Cheers....!

dilan September 20, 2012 at 3:00 PM  

ela ela...:) digatama karamu... ubuntu walata root nathuwa inastall karannna puluwan sinhala font ekak thiyanwanam kiyapanko...:)

Anonymous September 22, 2012 at 6:45 PM  

Simple machan...font eka double click karala install click karanna

Dulanja Subodhana September 23, 2012 at 7:30 PM  

home ෆෝල්ඩර් එකේ font කියලා සැඟවූ ෆෝල්ඩර් එකක් තියෙනවා... එකට ඔයාට ඕනේ ෆොන්ට් එක කොපි කරන්න.සැඟවූ ෆෝල්ඩර් බලන හැටි දන්නවනේ දැන් ඉතින්.. කොපි කරන හැටිත් දන්නවනේ... මේ ලිපියේ ඒවා ගැන තියෙනවනේ. ආයේ restart කරන්න ඕනේ නෑ. ෆොන්ට් එක වැඩ. ජය වේවා...!

Anonymous December 27, 2012 at 10:46 PM  

cp:omitting directory 'foo' kiyala enne mokada

Dulanja Subodhana January 2, 2013 at 12:34 AM  

foo කියලා කියන්නේ කොපි කරන්න ඕනේ ෆයිල් එකේ නම... ඒක ඔයාට ඕනේ විදිහට වෙනස් කරගන්න. ඔය Error මැසේජ් එක එන්නේ foo කියලා ෆෝල්ඩරයක් ඔබගේ පද්ධතියේ නෑ කියලා කියන්න. ඉතින් නැති ෆෝල්ඩරයක් කොහොමද කොපි කරන්නේ....? foo කියන එක වෙනුවට ඔබට කොපි කිරීමට අවශ්‍යය ෆෝල්ඩරයේ නම සඳහන් කරන්න... ජය වේවා....!

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

උබුන්ටු ලෝකයේ අළුත්ම ලිපි...

මූණු පොතේ අපි..

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න

දැන්වීමකි.


Vimasum Blog

දැන්වීමකි.

දැන්වීමකි.